තෙල් මිල වැඩි කළේ උද්ධමනය අඩුම අවස්‌ථාවකයි

තෙල් මිල වැඩි කිරීම සහ රුපියල පිරිහීම යන්න අද දිනයේ සමාජය තුළ වඩාත්ම කතාබහට ලක්‌වන ප්‍රධාන මාතෘකා දෙකක්‌ බවට පත්ව ඇත. මේ පිළිබඳව සහ වෙනත් කාලීන ආර්ථික ප්‍රශ්න පිළිබඳව අපි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සමඟ සාකච්ඡා කළෙමු. පහතින් සටහන් වන්නේ "දිවයින" ඇසූ ප්‍රශ්නවලට මහ බැංකු අධිපතිවරයා ලබාදුන් පිළිතුරුයි.

ප්‍රශ්නය - එකවර විශාල මුදලකින් දේශීය තෙල් මිල ගණන් රජය විසින් මෑතදී වැඩි කළා. ඒ නිසා බස්‌ ගාස්‌තු වෙනත් ප්‍රවාහන ගාස්‌තු සහ විදුලි ගාස්‌තු වැඩිවීම ඇතුළුව බඩු මිල ගණන් ඉහළ යැම නිසා ජනතාවගේ ජීවත් වීමේ ප්‍රශ්නය තවත් උග්‍ර වී ඇති බවට විපක්‍ෂය චෝදනා කරනවා. ඔවුන් කියන්නේ ලාභයකුත් තියාගෙන පෙට්‍රල් රු. 110 ට සහ ඩීසල් රු. 99 ට ලබාදිය හැකි බවයි. මෙහි ඇත්තක්‌ තිබෙනවාද?

පිළිතුර - ඒක වැරැදියි. තෙල් මිල දෙස පමණක්‌ හුදෙකලාව බලන්න බැහැ. ලෝකයේ රටවල් තෙල් විකුණන මිල ගණන් බැලුවොත් එය විශාල පරාසයක විහිදී තිබෙනවා. වෙනිසියුලාවේ ඩොලර් ශත 21 ට විකුණන තෙල් ලීටරය තුර්කියේ විකුණන්නේ ඩොලර් ශත 200 කට පමණ, ඒ අනුව විවිධ රටවල තෙල් මිල ගණන් තීරණය කිරීම, එක එක ආකාරයට කෙරෙනවා. මෙතැනදී සමහර අය රජයේ ආයතන සම්පූර්ණයෙන්ම පාඩු බවට පත්කරලා, ඒව ගන්න උත්සාහ කරනවා. අපි දැක්‌ක ඕක ඉස්‌සර කෙරුවා. එනම් ලාභ ලබන්න පුළුවන් වගේම සාමාන්‍යයෙන් ලාභ පාඩු නොලබන තත්ත්වයේ පවතින ආයතනත්, ඒ අය පාඩු ලබන තත්ත්වයකට යොමු කරවල, ඒ ආයතන විනාශ කරල, ඒවා පෞද්ගලික අංශයට විකුණපු යුගයක්‌ තිබුණා. ඒ නිසා තෙල් මිල අඩුවෙන් දෙන්න පුළුවන් කියා එවැනි අය තර්ක කිරීම පුදුමයට කරුණක්‌ නොවෙයි. 

මෙහිදී මේ තෙල් මිල ගණන් තීරණය කර තිබෙන්නේ, තෙල් අලෙවියෙන් වැඩි ලාභයකුත් ලබන්නෙ නැති පරිදි සහ වැඩි පාඩුවකුත් සිදු නොවන පරිදියි. පෙට්‍රල්වලට රු. 25 ක සහ ඩීසල්වලට රු. 2.50 ක බද්දක්‌ තියෙනවා. හේතුව ඒ මුදල්වලින් තමයි මේ පාරවල් නඩත්තු කරන්නේ. පසුගිය කාලය තුළ මෙරට මාර්ග සංවර්ධනයේ විශාල දියුණුවක්‌ වෙලා තියෙනවා. ඒක කාටවත් ප්‍රතික්‍ෂේප කරන්න බැහැ. ඒක ඉබේම සිදුවූ දෙයක්‌ නොවෙයි. ඒ සඳහා විශාල මුදල් ආයෝජනයක්‌ සිදු කර තිබෙනවා.

ප්‍රශ්නය - පොදු ප්‍රවාහනයට වඩාත් බලපාන්නේ ඩීසල්. එසේ නම් පෙට්‍රල්වලට වඩා ඩීසල් මිල වැඩියෙන් වැඩි කර තිබෙන්නේ ඇයි?

පිළිතුර - ලෝකෙ හැමතැනම වගේ ඩීසල් මිල, පෙට්‍රල් මිල හා සමානයි. එහෙම නැත්නම් ඩීසල් මිල පෙට්‍රල් මිලට වඩා වැඩියි. පිටරටින් ඩීසල් ගෙන්වීමේදීත් ඒ තත්ත්වය තියෙනවා. අපි තවමත් සම්පූර්ණයෙන්ම තෙල් පිටරටින්නේ ගෙන්වන්නේ. අපි සියයට 40 ක්‌ පමණ ගේනව බොරතෙල් ලෙස. සියයට 60 ක්‌ පමණ පිරිපහදු නිෂ්පාදිත ලෙස ගේනවා. ඒක අපිට ගන්න වෙන්නේ පවතින ලෝක තෙල් මිල ගණන් අනුවයි. බොහෝ අවස්‌ථාවලදී මේ පෙට්‍රල් මිලට වඩා ඩීසල් මිල වැඩියි. ඒ වුණත් අපේ රටේ ඩීසල් ලබා දෙන්නේ පෙට්‍රල්වලට වඩා අඩුවෙන්. එහෙම කරන්නේ යම් සහනයක්‌ ලබා දෙන්නයි. එහෙත් මම කිව්ව තත්ත්වය අපට සම්පූර්ණයෙන්ම අමතක කරල දාන්න බැහැ. තෙල් සංස්‌ථාව දිගින් දිගටම පාඩු ලබල එය විනාශ කරල දැම්මොත්, එවිට ජනතාවට මීට වඩා බරක්‌ දරන්න සිදුවෙන්න පුළුවන්.

සමහර දේශපාලනඥයො මේ ගැන කතා කරනව මම දැකල තියෙනවා. ඒ අය බලාපොරොත්තු වෙන්නේ තෙල් සංස්‌ථාව සම්පූර්ණයෙන්ම විනාශ කරල, ඒක කුණු කොල්ලයට අරගෙන ඊට පසු ඒ අයට අවශ්‍ය ලෙස තෙල් මිල වැඩි කරන්න. අපි දැක්‌කනෙ ඕක ගෑස්‌වලිනුත් කළා. ඒ නිසා එවැනි තත්ත්වයක්‌ නොවන පරිදි මේ සංස්‌ථාව රැකගන්න අපි වග බලා ගත යුතුයි.

තෙල් මිල වැඩි කළ විට ජනතාවට යම් බරක්‌ පැටවෙන නමුත් මෙය රජය සිදු කර තිබෙන්නේ උද්ධමනය අඩුම අවස්‌ථාවකයි. ජනවාරි මස අගදී උද්ධමනය සියයට 3.8 ට අඩුවුණා. එය කාලෙකින් පසු වාර්තා වූ අඩුම උද්ධමන මට්‌ටමක්‌. උද්ධමනය අඩු නිසා මේ අවස්‌ථාවෙ ජනතාවට දැනෙන පීඩනය අවමයි කියන්න පුළුවන්. තෙල් මිල වැඩි කරන්න තිබුණේ මීට කලින්. උද්ධමනය සියයට 7 ට වගේ තිබුණා. ගිය වසරේ අගෝස්‌තුවලදී. ඒ අවස්‌ථාවේදී තෙල් මිල වැඩි කළා නම් ජනතාවට දැනෙන පීඩනය මීට වඩා වැඩියි. උද්ධමනය සියයට 10 කට පමණ ඉහළ යන්නත් තිබුණා.

ප්‍රශ්නය - පසුගිය දිනවල අමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව රුපියලේ අගය පිරිහීමට ලක්‌ වුණා. දැන් තරමක ස්‌ථායි තත්ත්වයක්‌ තිබෙන බවක්‌ පෙනෙනවා. අපට දැනගන්නට ඇති පරිදි ඉකුත් පෙබරවාරි 08 වැනිදා සිට රුපියල තීරණය වීමේ කටයුත්ත වෙළෙඳපොළ බලවේගවලට ඉඩහැර තිබෙනවා. එසේම තෙල් බිල් පියවීමට පමණක්‌ විනිමය සපයන බවක්‌ පැවසෙනවා. විනිමය අනුපාත ප්‍රතිපත්තිය ගැන ආනයනකරුවන් සහ අපනයනකරුවන් ඇතුළු ආර්ථිකයේ විවිධ පාර්ශ්වයන්ට විශ්වාසයක්‌ තිබිය යුතුයි. ඒ නිසා ඉදිරියේදී මහ බැංකුව විසින් අනුගමනය කරන විනිමය අනුපාත ප්‍රතිපත්තිය කුමක්‌ද?

පිළිතුර - එය පැහැදිලි කිරීමට පෙබරවාරි 15 දින අප නිල ප්‍රකාශයකුත් කළා. එය ඉතා වැදගත්. ඒ අනුව අපි යම් වෙනසක්‌ සිදු කර තිබෙනවා. මුලින් අපේ මැදිහත්වීම තිබුණේ, යම් රුපියලේ අගයක්‌ අනුවයි. එතකොට රුපියලේ ඒ අගය තීරණය වීමට වඩා ඉහළ ඉල්ලුමක්‌ ඩොලර්වලට තිබුණොත්, අපි ඒ විනිමය සපයනව කිව්වා. ඒ වගේම රුපියලේ එම අගය තීරණයවීමට වඩා ඩොලර් සැපයුමක්‌ තිබේ නම් අපි ඒ ඩොලර් ගන්නව කියලත් කිව්වා. දේශීය විදේශ විනිමය වෙළෙඳපොළේ දෙපැත්තෙන්ම ඉඳල අපි විනිමය අනුපාතයේ ස්‌ථාවරත්වයක්‌ ඇති කරල තිබුණා. එවිට අපේ රුපියලේ අගය වැඩියෙන් ඉහළ හෝ පහළ යන්නේ නෑ. ඒ නිසා ආර්ථිකයේ සෑම පාර්ශ්වයකටම විශ්වාසයෙන් යුතුව වැඩ කටයුතු කරන්න පුළුවන් තත්ත්වයක්‌ අපි ඇතිකරල තිබුණා.

මේ අතර ඒ දෙයම යම්කිසි විශේෂිත වෙනස්‌ ආකාරයකට කරන්න පුළුවන් බවත් අපට පෙනී ගියා. එනම් වෙළෙඳපොළේ ඇති වැඩකටයුතු තවත් සාර්ථකව කර ගැනීමටත්, අපේ මැදිහත්වීම යම් නිශ්චිත තැනකට ගෙන ඒම සඳහාත් අපි තෙල් සඳහා අවශ්‍ය වන වියදම් පියවීමට වෙළෙඳපොළෙන් බැහැරව විදේශ විනිමය ලබා දීමට තීරණය කළා. අපි ඒ අවශ්‍ය විනිමය ප්‍රමාණය හඳුනාගෙන, එය වෙනමම ලබා දෙනවා. මේ අතරම රටට ගලා එන මහා පරිමාණයේ විදේශ විනිමය ලැබීම් තිබෙනවා. එනම් කොටස්‌ වෙළෙඳපොළට, රජයේ බැඳුම්කරවලට මෙන්ම රාජ්‍ය ණය සඳහා වන විදේශ විනිමය ලැබීම් ප්‍රමාණය අපි වෙනමම ශ්‍රී ලංකා මහ බැංකුවට ගන්නවා. වෙළෙඳපොළෙන් බැහැරව එය සිදු කරන නිසා විදේශ විනිමය වෙළෙඳපොළේ උච්චාවචනය බොහෝ දුරට අඩු කර ගන්න පුළුවන්.

ඒ සමගම අපි වෙළෙඳපොළට කිසියම් මාර්ගෝපදේශයකුත් ලබා දුන්නා. එනම් එවැනි තත්ත්වයකින් පසු, රුපියලේ අගය පවතින්නේ මෙන්න මේ වගේ තලයක කියලා. ඒ වෙනස්‌කම් අනුව රුපියලේ අගය ඉතාමත් හොඳ ආකාරයට, දැඩි උච්චාවචනවලින් තොර යථා තත්ත්වයකට දැන් ඇවිත් තියෙනවා. ඕනම ප්‍රතිපත්ති වෙනසක්‌ සිදුකරන විට තාවකාලිකව යම් අපැහැදිලිතාවක්‌ ඇති වෙනවා. ඒක ස්‌වාභාවික දෙයක්‌. ඉන්පසු වෙළෙඳපොළ ඒ තත්aත්වයට හුරු වෙනවා. දැන් ඒ තත්ත්වය ඇතිවෙලා තියෙනවා.

ප්‍රශ්නය - පසුගිය කාලයේ දිගින් දිගටම ආනයන වර්ධනය වීමේ ප්‍රතිඵලයක්‌ ලෙස වෙළෙඳ හිඟය ඉහළ ගියා. නමුත් අපනයන එපමණටම වැඩි වූයේ නැහැ. ඒ නිසා දැනට ඉහළ මට්‌ටමක පවතින වෙළෙඳ හිඟය අඩු කරගැනීම සඳහා ආනයන සහ විනිමය පාලන ක්‍රියාමාර්ග හඳුන්වාදීමේ සූදානමක්‌ තිබෙනවාද?

පිළිතුර - ඔබ කියන කතාවෙ යම් සාධාරණ තර්කයක්‌ තියෙනවා. හේතුව, එක කාලයත් තිබුණා එවැනි ආනයන අධෛර්යමත් කිරීම සඳහා නොයෙකුත් තහංචි පැනවීම්. ඒ හුඟක්‌ ඒව දැන් අයින් කරල. මේ නිසා අපේ වෙළෙඳ පරතරය ඉතාමත්ම ඉහළ තත්ත්වයකට යනව නම්, අපිට සමහර විට ඒ ගැන කල්පනා කරන්න සිදු වෙන්න පුළුවන්. දැනට අපි හිතාගෙන ඉන්නේ එවැනි තත්ත්වයක්‌ අවශ්‍ය නැති වෙයි කියලයි. එහෙත් ආනයන පාලනය කිරීම සඳහා අපට ගත හැකි ක්‍රියාමාර්ග (උපක්‍රම) තිබෙනවා. ඒවා ක්‍රියාත්මක කරනවද නැතිද යන්න මහ බැංකුවේ මුදල් මණ්‌ඩලයට තීරණය කරන්න පුළුවන්. 

අනවශ්‍ය දේවල් ආනයනය කිරීම සීමා නොකරන්නේ මන්දැයි බොහෝ දෙනෙක්‌ අපෙන් අහලා තියෙනවා. මේ ගැන පුවත්පත් ලිපි රැසකම සාකච්ඡා කරලත් තියෙනවා. අත්‍යවශ්‍ය දේවල් වගේම එතරම් අත්‍යවශ්‍ය නොවන දේවලුත් එක වගේම ආනයනය කිරීමට ඉඩ දෙන්නේ ඇයි කියන තර්කයේ සාධාරණත්වයක්‌ තියෙනවා. එහෙත් තවමත් එවැනි දුෂ්කර තත්ත්වයක්‌ මතු වී නැහැ. ඉදිරි මාස කිහිපය තුළදී අප දැනටමත් ගෙන තිබෙන ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග නිසා, ආනයනවල අඩුවීමක්‌ සිදුවනු ඇතැයි අපේක්‍ෂා කරනවා. එහෙත් ආනයනවල අවම වීමක්‌ වෙන්නෙ නැත්නම්, සමහරවිට එවැනි ආනයන පාලන ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ගැන අපට අවධානය යොමු කරන්න පුළුවන්. එවැනි තත්ත්වයක්‌ දැනට මතුවෙලා නැහැ.

ප්‍රශ්නය - පසුබෑමට ලක්‌වී ඇති කොළඹ කොටස්‌ වෙළෙඳපොළ දිරිගැන්වීම සඳහා මහ බැංකුව විසින් සේවක අර්ථසාධක අරමුදලේ මුදල් යොදා ගන්නා බවට චෝදනාවක්‌ තියෙනවා. මේ ගැන ඔබ කියන්නේ කුමක්‌ද?

පිළිතුර - ඒක සම්පූර්ණ අසත්‍යයක්‌. අපි කොටස්‌ වෙළෙඳපොළේ කොටස්‌ නියමිත අවස්‌ථාවලදී මිලදී ගන්නව. ඒ වගේම සුදුසු අවස්‌ථාවලදී විකුණනවා. සමහර කොටස්‌ අපි දිගුකාලීන ප්‍රවේශයක්‌ අනුව මිලදී ගන්නව. එනම් දිගුකාලීනව තියාගන්න අපේක්‍ෂා කරන කොටස්‌ තියෙනව. කෙටි කාලීනව ගනුදෙනු කරන්න බලාපොරොත්තුවෙන් ගන්න කොටස්‌ තියෙනවා. මේවා ඉතාමත් විද්‍යාත්මක ආකාරයට, අපේ ඉහළම දැනුමක්‌ හා පුහුණුවක්‌ තිබෙන ආයෝජන උපදේශකයන් තමයි සිදුකරන්නේ. ඒ නිසා ඒ අය විවිධ අවස්‌ථාවලදී කොටස්‌ වෙළෙඳපොළේ කොටස්‌ මිලදී ගන්නව. ඒක කරන්නේ කොටස්‌ වෙළෙඳපොළට විශේෂ තල්ලුවක්‌ දෙන්න නොව, අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ට දිගුකාලීනව හොඳ ප්‍රතිලාභයක්‌ ලබාදීමටයි. මිල වැටිච්ච වෙලාවෙ ගන්න ඕන. ඒක නුවණට හුරු කටයුත්තක්‌. ඒ නිසා ඔය චෝදනාව සම්පූර්ණ වැරැදි එකක්‌.(copy by::
දිවයින  සීමාසහිත උපාලි පුවත්පත් සමාගම)

0 Comments:

Post a Comment

කැමතිනම් comments එකක් ලියල යන්න.නැවත හමුවෙමු.

 
Design by Sri Lanka | Bloggerized By Yasantha Ruwan Karunarathne | yasantha.net@gmail.com | Pitigala